![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhX9PqoXSxIwejVFFyGPT7fgjTSQGQVIZ9QKhBQvZp9h7mfaExr9FXjYJMh5kbI-26YgLeVEzoD7beBJGm_Wxl-1O0HBJV3dRTPTIO8l-xcb1ERHnoBE-N5_Ejdt_5nFTwvG7X6tTN7BTPd/s1600/Banner.jpg)
මලී දිසානායක මහත්මිය ලියූ "කළු පාට කුරුල්ලා" නම් සුවිශේෂී කෙටිකතා සංග්‍රහය මා අතට පත්වී ටික දිනක් ගත වුණත් එය කියවීමට මට හැකි වූයේ පසුගිය සති අන්තයේ මද ඉසිඹුවක් ලද අවස්ථාවේදී ය.
ඇගේ කුළුඳුල් කෘතිය වූ මෙම ග්‍රන්ථයේ අඩංගු කෙටි කතා කියවා රස විඳිමෙන් අනතුරුව ඉන් මා සිත වඩාත් ඇද බැඳගත් නිර්මාණය පිළිබඳව කෙටි අදහසක් දැක්වීමට සිත්විය.
මෙම ග්‍රන්ථයේ ඇති හත්වෙනි කෙටිකථාව වන "රතුපාට ඇස් තියෙන කළු පාට කුරුල්ලා" කියවීමට මට විශේෂ කුතුහලයක් ඇති වුණේ එම නමේ ගැබ්වී ඇති ආකර්ෂණීයත්වය සහ ගුප්තභාවය නිසා විය හැක. මෙම නිර්මාණයේ පිවිසුම මෙන්ම අවසානය ද වන්නේ එහි කතා නායිකාව වන ජිනාගේ මනසට දැඩි ආවේගයක් ජනනය කරන ගොරහැඩි කුරුල්ලෙකුගේ නාදයකි. ඒ ඔස්සේ යමින් මෙම කෙටිකතාව තුළ එකිනෙකට කෙලින්ම සම්බන්ධයක් නැති නමුත් එකම තේමාවක් හරහා ගලා යන කතාංග කිහිපයක් පෙළ ගස්වා තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස මම දුටුවෙමි. එය අතිශයින්ම මගේ සිත් ගත් කතා විලාශයකි. ඒ ආකෘතිය කෙතරම් මා සිතට කා වැදුනේ ද යත් මම ද එම ආකෘතිය ඔස්සේ ම යමින් කෙටිකතාවක් ලිවීමටද පෙළඹුනෙමි.
"රතුපාට ඇස් තියෙන කළු පාට කුරුල්ලා" කෙටි කතාවේ ඉතා විචිත්රව සහ විස්තාරත්මකව ඉදිරිපත් කර ඇති පරිසර දසුන්, එය වඩාත් සාර්ථක කිරීමට හේතු වී ඇති බව මගේ අදහසයි. ජැකරැන්ඩා මල්ගස්, දම් පැහැති මල්වලින් රූ ගැන්වුණු රුක්ගොමු, ඩැන්ඩිලියන් මල් සමග සුන්දරව දිවෙන මෙම කතාව මලී දිසානායකගේ කතාකරණයේ ඇති දක්ෂතාව මොනවට පිළිබිඹු කරයි.
"කළුපාට කුරුල්ලා" කෙටිකතා සංග්‍රහය මලී දිසානායක ගේ පළමුවෙනි මුද්‍රිත කෙටිකතා එකතුව වුව ද එය කිසිසේත් ම ආධුනිකයෙකු ගේ කෘතියක් නොව භාෂාව හැසිරවීමත්, කතා කීමේ කලාවත් මැනවින් දන්නා පරිනත ලේඛිකාවකගේ නිර්මාණයකි.
සමාජයේ සිදුවන නොයෙකුත් අකටයුතුකම් පෙන්වා දී, එයින් මිදි සාධාරණ ලෝකයක් ඇතිකළ යුත්තේ කෙසේද යන්න තමන් නිර්මාණය කළ සුදු කළු චරිත සහ සිදුවීම් අනුසාරයෙන් පෙන්වාදීම මගින් මලී දිසානායක ලේඛිකාව සිතීමට සහ ආවර්ජනයට යමක් අපේ සිතෙහි සනිටුහන් කරන බව "කළුපාට කුරුල්ලා" කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගතය සම්පිණ්ඩනය කරමින් කිව හැක.
මලී දිසානායක ලේඛිකාවගේ ලේඛන කලාවේ දීර්ඝ ඉදිරි ගමනට මගේ උණුසුම් සුබ පැතුම් මෙයින් පිරිනමමි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif-018ensgOu1nBvR1xkRTayfjYL6_H4KYAVPYBXMISTyN2CqbsXCR5vQBCn2GqaLQwr-hXsJQTzAoWXp0OIzIz2CqRfQAYi-HxU4OftB2bNHlpNW6XetCJpzsbi9tkpiK8w24jC_1DjEO/s1600/Pushpa+-+2019.jpg)
-පුෂ්පා සූරියආරච්චි (https://lostinfloralrain.blogspot.com/)